Thursday, April 21, 2016

ඇල්බට්‌ අයින්ස්‌ටයින් (albert einstein)

ඇල්බට්‌ අයින්ස්‌ටයින්



සාධාරණ සාපේක්‌ෂතාවාදයේ ශත සංවත්සරය


විද්‍යාවේ ඉතා ම ආකර්ෂණීය න්‍යාය නිර්මාණය ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය යෑයි කිව හැකි ය. වසර 1915 දී අයින්ස්‌ටයින් මේ වාදය ඉදිරිපත් කළ විට සමහරු එය විද්‍යාවේ ඉමහත් විප්ලවයක්‌ ඇති කරන්නක්‌ සේ සැලකූ හ. මේ අතර ම සාධාරණ සාපේක්‌ෂතාවාදය තේරුම්ගත හැක්‌කේ භෞතික විද්‍යාඥයන් අතළොස්‌සකට පමණක්‌ ය යන වැරැදි මතයක්‌ ද ප්‍රචලිත විය. තවත් සමහරුන් කීවේ එය තේරුම්ගත නොහැක්‌කේ එහි තේරුම්ගැනීමට ප්‍රමාණවත් දෙයක්‌ නැති නිසා බවයි. පසුගිය ශත වර්ෂය ඇතුළත අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදය නොයෙක්‌ අතට විශ්ලේෂණය කොට පරීක්‌ෂණ ගණනාවකට භාජන කර තිබේ. මේ පරීක්‌ෂණ සියල්ල ම පුදුමාකාර ලෙස එම වාදයේ 

නිවැරැදිතාව පෙන්නුම් කර දී ඇත.

මේ වසර (2015) තුළ දී සාධාරණ සාපේක්‌ෂතාවාදයේ ශත සංවත්සරය සැමරීම ලෝකයේ බොහෝ රටවල සිදු වෙමින් පවතී. ඒවායේ එක්‌ අරමුණක්‌ වන්නේ අයින්ස්‌ටයින් වාදයේ ඉමහත් වූ වටිනාකම පොදු ජනයා අතරට ගෙන යැම හා අති දක්‌ෂ තරුණ සිසුන් සෛද්ධාන්තික විද්‍යාවන් කෙරේ යොමු කිරීමයි.

සාපේක්‌ෂතාවාදය යනු කිම?

ඇල්බට්‌ අයින්ස්‌ටයින් විසින් සාපේක්‌ෂතාවාදය විශේෂ හා සාධාරණ යන කොටස්‌ දෙකක්‌ ලෙස ඉදිරිපත් කරන ලදි. වසර 1905 දී ප්‍රකාශයට පත් කෙරුණු විශේෂ සාපේක්‌ෂතාවාදයේ පදනම වූයේ සොබාදහමේ නියමයන් එකිනෙකට සාපේක්‌ෂ ව ඒකාකාර වේගයෙන් ගමන් ගන්නා සැම රාමුවකට ම එක සේ පෙනෙන බවයි. මේ උපකල්පනය යොදාගනිමින් එවකට බරපතළ ප්‍රශ්නයක්‌ වූ මැක්‌ස්‌වෙල් ගේ විද්යුත් චුම්බකවාදය හා නිව්ටෝනියානු යාන්ත්‍රණය අතර තිබූ පරස්‌පරය තේරුම්ගෙන නිව්ටෝනියානු යාන්ත්‍රණය වෙනුවට සාපේක්‌ෂතා යාන්ත්‍රණයක්‌ සොයාගැනීමට හැකි වූයේ ය. මේ සාපේක්‌ෂතා යාන්ත්‍රණය මැක්‌ස්‌වෙල් ගේ විද්යුත් චුම්බකවාදය හා එකග වීම එය ඉදිරියට ගෙන යැමක්‌ ලෙස සැලකිය හැකි ය. අංශූන් ගේ ප්‍රවේග ආලෝකයේ ප්‍රවේගයට බොහෝ සෙයින් අඩු විට සාපේක්‌ෂතා යාන්ත්‍රණය නිව්ටෝනියානු යාන්ත්‍රණයට ඉතා ම ආසන්න වේ. එමෙන් ම විශේෂ සාපේක්‌ෂතාවාදයට අනුව කිසි වස්‌තුවකට ආලෝකයේ ප්‍රවේගය ඉක්‌මවිය නොහැකි ය. සාපේක්‌ෂතා යාන්ත්‍රණය මගින් අයින්ස්‌ටයින් E = mc2 යන සමීකරණය ඉදිරිපත් කළේ ය.

සාපේක්‌ෂතාවාදය හෝ වෙනත් මූලික මතවාද ඔප්පු කළ නොහැකි ය. ඒවා තේරුම්ගැනීම යනුවෙන් අදහස්‌ වනුයේ වාදය ගෙන ඒමට හේතුව සහ වාදයේ උපකල්පන වටහාගෙන වාදය යොදමින් නිරීක්‌ෂණ සමූහයක්‌ අතර සම්බන්ධතාව තර්කයෙන් ගොඩනැගීමයි. විශේෂ සාපේක්‌ෂතාවාදයේ මූලික උපකල්පනය පහසුවෙන් වටහාගත හැකි ක්‍රමයක්‌ නම් පාසලේ දී ඉගෙනගත් පයිතගරස්‌ ප්‍රමේය දෙස විචාරාත්මක ව බැලීමයි. පයිතගරස්‌ ප්‍රමේයෙන් කියන්නේ Rජුකෝණික ත්‍රිකෝණයක විකර්ණයේ වර්ගය ඉතිරි පාදවල වර්ගයන්හි එක්‌තුවට සමාන බවයි. මේ ප්‍රමේයයේ ඔප්පු කිරීම් ලෙස පතපොත ඉදිරිපත් කරන්නේ ඇත්ත වශයෙන් ඔප්පු කිරීම් නො ව සමාන්තර ප්‍රතිගෘහිතය භාවිතයෙන් ලබාගත් නිගමනයන් පමණි. සමාන්තර ප්‍රතිගෘහිතයෙන් කියන්නේ යම් තලයක සරල රේඛාවක්‌ සහ ලක්‌ෂ්‍යයක්‌ තිබේ නම් එම ලක්‌ෂ්‍යය හරහා යෙදී ඇති රේඛාවට සමාන්තර ලෙස ඇඳිය හැක්‌කේ එක ම එක සමාන්තර රේඛාවක්‌ පමණ ය යන්නයි. එහෙත් මේ සමාන්තර ප්‍රතිගෘහිතය ඔප්පු කළ නොහැකි ය.

අවුරුදු දෙ දසහකටත් අධික කාලයක්‌ තිස්‌සේ සමාන්තර ප්‍රතිගෘහිතය ඔප්පු කිරීමට උත්සාහ කළ ගණිතඥයෝ අන්තිමේ දී එය ඔප්පු නො කළ හැකි අප ජීවත් වන අවකාශයේ භෞතික ලක්‌ෂණයක්‌ ලෙස සැලකිය යුතු යෑයි තේරුම්ගත් හ. අපට යම් වස්‌තුවක දිග, පළල හා උස හැෙග්. එමගින් අප යොමු වන්නේ අවකාශය ත්‍රිමානීය ය යන සංකල්පය වෙත ය. එමෙන් ම අපට කාලයත් හැෙගන අතර කාලය අවකාශයට වෙනස්‌ බව ද හැෙග්. කාලය ද අවකාශ මානවලට වෙනස්‌ මානයක්‌ ලෙස සිතුවොත්, එම මාන සතරක්‌ ඇති සන්තතියේ පයිතගරස්‌ ප්‍රමේයට ප්‍රතිරූප වන්නා වූ නියමය විශේෂ සාපේක්‌ෂතාවාදයයි. පයිතගරස්‌ ප්‍රමේය සේ ම විශේෂ සාපේක්‌ෂතාවාදය ද ඔප්පු කළ නොහැකි ය. එය අවකාශ - කාල සන්තතියේ ස්‌වභාවයකි. 

විශේෂ සාපේක්‌ෂකතාවාදය ඉහත සඳහන් ආකාරයට ඉදිරිපත් කිරීම, සාධාරණ සාපෙක්‌aෂතාවාදය පිළිබද තරමක අවබෝධයක්‌ ලබාගැනීමට උපකාරී වේ. සාධාරණ සාපේක්‌ෂතාවාදයේ උපකල්පනය වන්නේ, විශාල ස්‌කන්ධ අසල ඇති ගුරුත්වාකර්ෂණය නිසා අවකාශ-කාල සන්තතිය වක්‍රාකාර වන බවයි. එම නිසා විශාල අවකාශ-කාල පථයක, විශේෂ සාපේක්‌ෂතාවාදය බිඳ වැටේ. එනමුත් අවකාශ-කාල සන්තතියේ අල්පිෂ්ඨ කොටසක විශේෂ සාපේක්‌ෂතාවාදය සත්‍ය වන්නේ ය. ගෝලයක පෘෂ්ඨය ගැන සිතන්න. තලයක මෙන්ම ගෝල පෘෂ්ඨයක ද සරල රේඛාව කුමක්‌ දැයි අර්ථ දැක්‌විය හැකි ය. එම පෘෂ්ඨයේ යම් ලක්‌ෂ්‍ය දෙකක්‌ අතර අවම දුර ගෙන යන මග එහි සරල රේඛාවයි. මේ සරල රේඛා ගෝල පෘෂ්ඨයේ මහා වෘත්ත වේ. සියලු ම මහා වෘත්ත එකිනෙක කැපෙන හෙයින්, ගෝල පෘෂ්ඨයක සමාන්තර රේඛා නොමැත. 

ගෝල පෘෂ්ඨ ජ්‍යාමිතියේ සමාන්තර ප්‍රතිගෘහිතය වලංගු නො වේ. එම නිසා ගෝල පෘෂ්ඨයක පයිතගරස්‌ ප්‍රමේය ද වලංගු නො වේ. එනමුත් ගෝලයක අල්පිෂ්ඨ කොටසක්‌ තලයක්‌ යෑයි සිතිය හැකි බැවින්, එය මත පයිතගරස්‌ ප්‍රමේය ද වලංගු වන්නේ ය. මෙය තවත් පැහැදිලි කිරීමට පෘථිවිය පරිපූර්ණ ගෝලයක්‌ සේ සලකමු. පහත පෙන්වා ඇති චිත්‍රයේ A සහ B නිරක්‌ෂයේ පිහිටි ලක්‌ෂ්‍ය දෙකකි. 

A සහ B ඔස්‌සේ යන දේශාන්තර රේඛා, N ලෙසින් දක්‌වා ඇති උත්තර ධ්‍රැවයේ දී කැපේ. නිරක්‌ෂයත්, සියලු ම දේශාන්තර රේඛාවන් ද ගෝල පෘෂ්ඨයේ මහා වෘත්ත වේ. ඒවා ගෝල පෘෂ්ඨයේ සරල රේඛා වන අතර ABN ගෝල පෘෂ්ඨ ත්‍රිකෝණයකි. ගෝල පෘෂ්ඨ ත්‍රිකෝණයක කෝණවල අගය වන්නේ, රේඛාවන්ට ශීර්ෂ අසල අඳින ලද ස්‌පර්ශක අතර ඇති කෝණය ය. පැහැදිලිව ම ABN ගෝල පෘෂ්ඨ ත්‍රිකෝණයේ, A සහ B කෝණ දෙක ම Rජු කෝණ වේෘ බිය වීමට වුමනාවක්‌ නැත, අප තලයක අඳින ත්‍රිකෝණයක කෝණවල අගයන්හි ඓක්‍යය Rජුකෝණ දෙකකට සමාන බව ඔප්පු කොට ඇත්තේ සමාන්තර ප්‍රතිගෘහිතය භාවිත කොට ය. සමාන්තර ප්‍රතිගෘහිතයත්, ඊට මූලිකව සමාන වූ පයිතගරස්‌ ප්‍රමේයය, ගෝල පෘෂ්ඨ ජ්‍යාමිතියේ වලංගු නැත. 

අපට ගෝලය හා ගෝල පෘෂ්ඨය යන සංකල්ප කෙළින් ම ඉන්ද්‍රිය ගෝචර වේ. ඒ අපි ත්‍රිමාන අවකාශයේ ජීවත් වන නිසා ය. මාන දෙකක්‌ පමණක්‌ සංවේදී වන සත්ත්ව විශේෂයක්‌ තරමක්‌ විශාල ගෝලයක පෘෂ්ඨයක්‌ මත ජීවත් වන්නේ යෑයි සිතන්න. ඔවුනට ගෝලය යන සංකල්පය කෙළින් ම ඉන්ද්‍රිය ගෝචර නො වේ. ගෝල පෘෂ්ඨයේ කුඩා පෙදෙසක කරනු ලබන මිනුම්වලින් ඔවුනට පයිතගරස්‌ ප්‍රමේයය සොයාගත හැකි ය. සත්ත්ව විශේෂය දියුණු වී, විශාල දුරවල් මැනීමට තාක්‌ෂණය අත්පත් කරගැනීමෙන් පසු, තම අවකාශයේ පයිතගරස්‌ ප්‍රමේය වලංගු නො වන බව ඔවුහු දැනගනිති.

මේ සත්ත්ව වර්ගයා ගේ න්‍යායවාදී (සෛද්ධාන්තික) භෞතික විද්‍යාඥයෙක්‌, නිරීක්‌ෂණ සලකා බලා, ඔවුන් ජීවත් වන්නේ වක්‍ර වූ දෛමානික (ද්විමාන) අවකාශයක යෑයි තීරණය කරයි. එමගින් ඔවුනට දෛමානික අවකාශයක ජීවත් වුවත් ගෝලය යන සංකල්පය වියුක්‌ත ව වටහාගැනීමට හැකි වේ. 

මිනිසා ඇති කරගත් සියලු ම සංකල්ප ඉන්ද්‍රිය ගෝචර අදහස්‌ හා සබැෙද්. ඒවා අතරින් විද්‍යාත්මක සංකල්ප සර්වභෞමික ය. එසේ වන්නේ විද්‍යාත්මක සංකල්ප කා හටත් පොදු ස්‌වභාවයක්‌ ගන්නා හෙයිනි. වෙනස්‌ වූ සංස්‌කෘතීන්, භූගෝලීය පරිසර, ජෛව ව්‍යqහ, හෝ අත්දැකීම් තිබුණත් මේ සැම දෙනා ම පයිතගරස්‌ ප්‍රමේයය තේරුම්ගන්නේ එක ම ආකාරයට ය. විශේෂ සාපේක්‌ෂතාවාදයේ සිට සාධාරණ සාපෙක්‌aෂතාවාදය කරා යැම, තල පෘෂ්ඨ ජ්‍යාමිතියේ සිට ගෝල පෘෂ්ඨ ජ්‍යාමිතිය වෙත යොමු වන ගණිතමය පියවරට ප්‍රතිසමතාවක්‌ පෙන්වයි. 

ඇල්බට්‌ අයින්ස්‌ටයින් විශේෂ සාපේක්‌aෂතාවාදයෙන් පසුව, සාධාරණ සාපේක්‌aෂතාවාදය ඉදිරිපත් කළේ, ඉහත සඳහන් සත්ත්ව විද්‍යාඥයා, තමන් සිටින්නේ සම තලයක නො ව වක්‍ර වූ තලයක යෑයි පෙන්වූ ආකාරයට ය.

සාධාරණ සාපේක්‌aෂතාවාදය නිශ්චය කිරීමේ සූර්යයග්‍රහණ පරීක්‌ෂණ 

ගුරුත්වාකර්ෂණය උදාසීන අවස්‌ථාවන්හි දී සාධාරණ සාපෙක්‌aෂතාවාදය, නිව්ටෝනියානුවාදයට සමීප වෙයි. නිව්ටෝනියානුවාදය හා සාධාරණ සාපේක්‌ෂතාවාදය අතර ඇති වෙනස හඳුනාගෙන, එහි සත්‍යතාව ඇගයිය හැකි පරීක්‌ෂණ ගණනාවක්‌ අයිස්‌ටයින් විසින් ඉදිරිපත් කරන ලදී. මේවායින් මහත් කුතුහලයක්‌ ඇති කිරීමට සමත් වූයේ, ගුරුත්වාකර්ෂණ බලය හේතු කොටගෙන ආලෝකය නැවෙන ආකාරයයි. හිරු අසලින් එන ආලෝක ධාරාවක්‌ නැවෙන කෝණය, සාධාරණ සාපෙක්‌aෂතාවාදයට අනුව ගණනය කළ විට ලැබෙන අගය, නිව්ටෝනියානුවාදයට අනුව ලැබෙන අගය මෙන් දෙගුණයකි. පූර්ණ සූර්ය ග්‍රහණයක්‌ සිදු වන අවස්‌ථාවේ මේ සංසිද්ධිය නිරීක්‌ෂණය කළ හැකි බව අයින්ස්‌ටයින් පෙන්වා දුන්නේ ය. සූර්ය තැටිය අසලින් දිස්‌ වන තාරකාවක කෝණික විස්‌ථාපනය ලෙස ආලෝකයේ නැවීම මැනගනු ලැබේ. 

වර්ෂ 1919 මැයි 29 වැනි දින බටහිර අප්‍රිකාව අසල ප්‍රින්සිපි දූපතට පෙනුණු පූර්ණ සූර්යග්‍රහණයක්‌ අවස්‌ථාවේ මේ පරීක්‌ෂණය කිරීමට ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෝ ඉමහත් උත්සාහයක්‌ දැරූ හ. පරීක්‌ෂණය මෙහෙයවන ලද්දේ සුප්‍රකට තාරකා හා න්‍යායවාදී භෞතික විද්‍යාඥයකු වූ සර් ආතර් එඩිංටන් විසිනි. පරීක්‌ෂණය අවසන් වූ වහා ම, එමගින් අයින්ස්‌ටයින් ගේ සාධාරණ සාපේක්‌aෂතාවාදය තහවුරු වී ඇති බව එඩිංටන් අනාවරණය කළේ ලොව ම මවිත කරවමිනි. පසු දින ලොව බොහෝ පුවත්පත්වල මුල් පිට වගන්තිය වූයේ මේ කරුණ ය. අයින්ස්‌ටයින් ද උදම් ඇනී ය. 

එම ප්‍රතිඵලය, ඔහු ගේ වාදයට එකග නො වූවා නම් සිතන්නේ කුමක්‌ දැයි ඔහු ගෙන් ඇසූ විට අයින්ස්‌ටයින් පැවසුවේ එසේ වූවා නම් තමා "දෙවියන්වහන්සේ" ගැන කණගාටු වන බව ය. තව ද තම මිත්‍ර සමහර භෞතික විද්‍යාඥයෝ සූර්යග්‍රහණ දිනයේ නො නිදා ප්‍රතිඵලය එන තෙක්‌ බලා සිටි බවත්, ඔවුන් එසේ කළේ භෞතික විද්‍යාව නො තේරණ නිසා බවත්, සත්‍යය හොදින් වටහාගත් තමා සුව සේ නිදාගත් බවත් කියමින් ඔහු සිනාසුණේ ය.

කෙතරම් පිළිගත් මතයක්‌ වුවත් ඉතා තදින් විශ්ලේෂණයට හා පරීක්‌ෂණයට යොමු නො කොට තීරණය කිරීමට විද්‍යාව ඉදිරිපත් නො වේ. සාධාරණ කරුණු මත සමහර භෞතික විද්‍යාඥයෝ 1919 සූර්යග්‍රහණ ප්‍රතිඵලය එකහෙලා පිළිගැනීමට නොකැමැති වූ හ. සූර්යග්‍රහණ පරීක්‌ෂණයන්හි සිදු වන නොයෙකුත් දෝෂ වැළැක්‌වීම අපහසු ය. එමෙන් ම සමහරුන් එඩිංටන් ගේ පරීක්‌ෂණ ප්‍රතිඵලවල සංඛ්‍යත්මක විෂ්ලේෂණය ගැන සෑහීමකට පත් වූයේ නැත. නොබෙල් කමිටුව අයින්ස්‌ටයින්ට එම තාග්‍යය පිරිනැමීමට මැළි විය. 

නැවතත් පරීක්‌ෂණය සිදු කිරීමට ආකාශ වස්‌තු නිරීක්‌ෂණාගාර කිහිපයක්‌ ම විසින් තීරණය කරන ලදි. ඊළග සූර්යග්‍රහණය සිදු වන්නේ 1922 සැප්තැම්බර් 21 වැනි දින දී විය. එහි පූර්ණ අවධිය හොඳින් දැක බලාගත හැක්‌කේ මාලදිවයිනට, ක්‍රිස්‌මස්‌ දූපතට හා දකුණු ඕස්‌ටේ්‍රලියාවට බව ගණන් බලා තිබිණ. එක්‌සත් රාජධානියේ විද්‍යාඥයන් හා ඉන්දියාවේ විද්‍යාඥයන් පිරිසක්‌ මාලදිවයිනට ද, එක්‌සත් රාජධානිය, නෙදර්ලන්තය හා ජර්මනියේ පිරිසක්‌ ක්‍රිස්‌මස්‌ දූපතට ද, ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ලික්‌ස්‌ ආකාශ වස්‌තු නිරීක්‌ෂණාගාරයේ විද්‍යාඥයන් දකුණු ඕස්‌ටේ්‍රලියාවට ද යැමට යෝජනා කෙරිණ. 

පොදු රාජ්‍ය මණ්‌ඩලය සාධාරණ සාපේක්‌ෂතාවාදය ඇගයීමේ පරීක්‌ෂණවලට බොහෝ සේ උපකාරී වුවත්, මාලදිවයිනේ ගවේෂණයට අවශ්‍ය උපකරණ කොළඹ සිට මාලේ දක්‌වා ගෙන යැමට එවකට ලංකා ආණ්‌ඩුවෙන් පැතූ සහාය නො ලැබිණ. එමෙන් ම කොළඹ ආකාශ වස්‌තු නිරීක්‌ෂණාගාරයේ විද්‍යාඥයකු හට මාලදිවයින් ගවේෂණයට සහභාගී වීම සදහා නිවාඩු අනුමත කීරීම ප්‍රතික්‌ෂේප කෙරිණ. මේ හේතු නිසා මාලදිවයින් ගවේෂණය අත්හිටුවීමට සිදු විය. 

කෙසේ නමුත් සාධාරණ සාපේක්‌ෂතාවාදය සනාථ කීරීමට කෙරෙන පරීක්‌ෂණයන් ගැන ලොව ම අවධානයෙන් සිටි අවධියක ඇල්බට්‌ අයින්ස්‌ටයින් ලංකාවට පැමිණියේ ය.

 


ඇල්බට්‌ අයින්ස්‌ටයින් වර්ෂ 1922 දී ශ්‍රී ලංකාවට පැමිණීම

වර්ෂ 1922 ඇල්බට්‌ අයින්ස්‌ටයින්ට තරමක්‌ සංකීර්ණ කාල පරිච්ඡේදයක්‌ විය. පළමුවැනි ලෝක සංග්‍රාමය අවසන් වුවත් එයින් ඇති වූ හානිදායක වෙනස්‌කම් ජර්මනියේ විසූ සැම දෙනාට ම බලපෑවේ ය. ජර්මානු ජාතිවාදය ඉස්‌මතු වීමෙන් යුදෙව්වන්ට හිරිහැරකාරී තත්ත්වයක්‌ උදා විය. අයින්ස්‌ටයින් ගේ හිතවතකු වූ, ජර්මනියේ විදේශ ඇමැති යුදෙව් ජාතික වෝල්ටර් රටහනේඩු මහතා 1922 ජූනි මස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්‌ වූයේ ය. අපරාධ විමර්ශනයේ දී අනාවරණය වූයේ අයින්ස්‌ටයින් ගේ නම ද ඝාතන ලැයිස්‌තුවේ තිබූ බව ය. 

සැප්තැම්බර් 21 සූර්යග්‍රහණ පරීක්‌ෂණයේ ප්‍රතිඵලය නිකුත් කිරීමට සෑහෙන කාලයක්‌ ගත විය. මෙවර, 1919 සූර්යග්‍රහණ පරීක්‌ෂණයට වඩා පරෙස්‌සමෙන් විද්‍යාඥයෝ දත්ත විශ්ලේෂණය කළ හ. පරීක්‌ෂණය, වාදයේ අනාවැකිය හා එකග වේ නම් තමාට නොබෙල් තාග්‍යය ලැබෙන බව අයින්ස්‌ටයින් දැන සිටියේ ය. ත්‍යාග ප්‍රධාන උත්සවයට සහභාගී වීමට අයිනස්‌ටයින් යුරෝපයේ සිටිය යුතු විය. තම පරෙස්‌සම ගැන සලකා බැලූ අයින්ස්‌ටයින් ටික කලක්‌ යුරෝපයෙන් බැහැර ව සිටීමට තීරණය කළේ ය. වාසනාවට අයින්ස්‌ටයින්ට ජපානයේ සංචාරයකට ආරාධනාවක්‌ ලැබිණ. යමමෝටෝ සසිහීකෝ නැමැති පොත් ප්‍රකාශකයා සියලු ම වියදම් දරන බව දන්වා තිබිණ. සසිහීකෝ ගේ ආරාධනය පිළිගෙන, අයින්ස්‌ටයින් සහ ඔහු ගේ දෙවැනි බිරිද වන එලීසා ලොවෙන්තල් මහත්මිය, 1922 ඔක්‌තෝබර් 8 වැනි දින, ප්‍රංශයේ මාර්සේල්ස්‌ තොටුපළින් කිටුනු මාරු නම් ජපාන දුම් නැවට නැංගෝ ය. ගමන් කාලසටහනට අනුව, ජපානයට ළඟා වීමට පෙර, නැව නවත්වන්නට යෙදී තිබුණේ, පෝර්ට්‌ සෙඩ්, කොළඹ, සිංගප්පූරුව, හොංකොං, ශැංහායි යන තොටුපළවල ය. 

අයින්ස්‌ටයින් හා එලීසා රැගෙන කිටුනු මාරු නැව ඔක්‌තෝබර් 27 වැනි දින රාත්‍රි 9ට කොළඹ වරායට සේන්දු විය. අයින්ස්‌ටයින්, තම දින පොතෙහි සදහන් කරන්නේ කොළඹ අසල මුහුදේ ඇති වූ කුණාටුවක්‌ නිසා නැව ප්‍රමාද වූ වගයි. අයින්ස්‌ටයින් තමාට මුණගැසුණු ප්‍රථම ශ්‍රී ලංකිකයා ගැන මෙසේ විස්‌තර කරයි. 

"නැව කොළඹ වරායට පැමිණි විගස කෙට්‌ටු සිරුරක්‌ හා සුදු වූ රැවුලක්‌ ඇති මිනිසෙක්‌ මා නමට එවා තිබූ විදුලි පණිවිඩයක්‌ භාර දී බැගෑපත් ව සන්තෝසමක්‌ ඉල්ලුවේ ය." මේ මිනිසා බැගෑපත් වූ සැටි දැක තමා ඉමහත් සංවේගයට පත්වූ බව අයින්ස්‌ටයින් පවසයි. පසු දින උදෑසන ම අයින්ස්‌ටයින් සහ එලීසා නැවෙන් පිටතට පැමිණි විට කොළඹ වරායේ රික්‌ෂෝ ධාවකයෝ, "රුපියල් දෙකයි... රුපියල් දෙකයි..යනුවෙන් පවසමින් ඔවුන් වට කරගත් හ. නැවේ නිලධරයෙක්‌ ඔවුනට රික්‌ෂෝ රථවල නැගී කොළඹ නගරය බැලීමට යන මෙන් උපදෙස්‌ දුන්නේ ය. අයින්ස්‌ටයින් මීට තදින් ම විරුද්ධ වී තමා කිසිසේත් තවත් මනුෂ්‍යයකු විසින් පාරේ අදිනු ලබන රථයක ගමන් කිරීමට නොකැමැති බව පැවසුවේ ය. නිලධරයා දැන් අප ඉන්නේ නැෙගනහිර යෑයි මතක්‌ කර දුන්නේ ය. අයින්ස්‌ටයින් මෙන් නො ව ප්‍රායෝගිකව කල්පනා කළ එලීසා, මේ ඔවුන් ගේ ජීවනෝපාය යෑයි කීවා ය. අයින්ස්‌ටයින් තමා ළගට පැමිණි රික්‌ෂෝ ධාවකයා ගැන මෙසේ විස්‌තර කර ඇත. 

"ඔහු කුඩා දේහයක්‌ ඇති ශක්‌තිමත් පුරුෂයෙකි. ඔහු ගේ කටේ එක්‌ කොනකින් රත් පැහැති කෙළ ධාරාවක්‌ ගලා යමින් තිබිණි." 

රික්‌ෂෝ ධාවකයකු, එලීසා රථයේ වාඩි කර දුවන්නට යන බව දුටු අයින්ස්‌ටයින් "නවතිනු" යෑයි කියමින් එතනට ගියේ ය. නැවේ නිලධරයා රථවල ගමන් කරන පිළිවෙත පැහැදිලි කිරීමෙන් පසු දෙදෙනා රථ දෙකකට නැග පිටත් වූ හ. අයින්ස්‌ටයින් විස්‌තර කරන ආකාරයට හැෙගන්නේ ඔවුන් යෝර්ක්‌ වීදිය පසු කොට පිටකොටුව දෙසට ගිය වගයි.

අයින්ස්‌ටයින් තමා දුටු ශ්‍රී ලංකිකයන් ගැන දින පොතේ ලියා ඇති විස්‌තරයෙන් ඔහු ගේ සමාජවාදී අදහස්‌ හා මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි වූ අපේක්‌ෂාව විදහා දැක්‌වේ. ඔහු තමන් කොළඹ දී දුටු මිනිසුන් ගැන මෙසේ විස්‌තර කරයි. 

"සරල දිවි පෙවෙතක්‌ ගත කරන කොළඹ දුප්පත් ජනයාට බොහෝ දේ වුවමනා නො වේ. ඔවුන් දුගී භාවයට පත් වූ ප්‍රිය මනාප දේහ ලක්‌ෂණ ඇති උත්තමයන් සේ පෙනේ. එනමුත් ඔවුහු තරමක අවනත භාවයක්‌ ද පෙන්නුම් කරති. පෝට්‌සෙඩර් නගරයේ මෙන් ඔවුන් කලබලකාරී නො වේ. තදබද පරිසරයක ජීවත් වන ඔවුනට පෞද්ගලිකත්වයට ඉඩකඩ නොමැත. මේ මිනිසුන් දෙස සමීප ව බැලූ විට යුරෝපීය ආකල්පයන්ට ඇති ප්‍රියමනාපය බිඳ වැටී, යුරෝපීයයන් ගුණයෙන් පිරිහුණු, ගොරෝසු හා කෑදරකමින් යුක්‌ත වූවන් සේ හැඟේ. අවාසනාවකට මොවුන් ගේ ප්‍රබලත්වය හා ලොකු දේවල් කිරීමට ඇති හැකියාවට ද හේතු මේවා ය. මෙරට වැසියන් දෙස බැලීමෙන් පෙනෙන්නේ, දේශගුණය නිසා ඔවුනට පැය බාගයක්‌ වත් අතීතය හෝ අනාගතය දෙස බැලීමට අනවශ්‍ය බවයි. අප වෙසෙන රටවල මිනිසුන් ද, මේ දේශගුණ තත්ත්වය යටතේ එම තත්ත්වයට පත් වන්නේ දැයි සිතා මම මවිත වෙමි."

අයින්ස්‌ටයින් කොළඹ වරාය කඩිසර ස්‌ථානයක්‌ බව පවසයි. තද පැහැති දිළිසෙන සිරුරු ඇති කම්කරුවෝ බඩු පටවමින් හා ගොඩබාමින් සිටිති. එදින කොළඹ වරාය ආසියාවේ ප්‍රධානතම නැව් ගමනාගමන මධ්‍යස්‌ථානයකි. අත්‍යවශ්‍ය අපහසු කාර්යයක්‌ වූ නැව් කඳ පිරිසිදු කරනු ලබන්නේ දක්‌ෂ කිමිදුම්කරුවන් විසිනි. මෙය දුටු අයින්ස්‌ටයින් පැවසුවේ කොළඹ වරායේ කිමිදුම්කරුවන් ධෛර්යයවත් බවත්, ඔවුන් ගේ ශ්‍රම ශකAතිය වැය කරවා අධම මිනිසුන් තෘප්තිමත් වන බවත් ය. 

අයින්ස්‌ටයින්, එලීසා හා ඔවුන් සමග නැවේ පැමිණි ප්‍රංශ ජාතික යුවලක්‌ කොළඹ අවට පන්සලක්‌ බැලීමට ද ගොස්‌ ඇත. අයින්ස්‌ටයින්, පන්සල ගැන විස්‌තරයක්‌ දිනපොතේ ලියා නැත. එනමුත් අයින්ස්‌ටයින් ගේ ලේඛනාරක්‌ෂකයෙහි ලිපියක එම ස්‌ථානය කැලණිය රජමහා විහාරය යෑයි සදහන් වේ. 

මේ ලේඛකයා එක්‌ දහස්‌ නව සිය විස්‌ස අග භාගයේ කොළඹ කොටුවේ පරිසරය මතක අයකු ගෙන් විමසු විට ඔහු පැවසුවේ, එකල සංචාරකයන් කොළඹ සිට කැලණිය දක්‌වා වුව ද රික්‌ෂෝ රථවලින් ගමන් ගත් බවයි. එහෙත් අද මෙන් එදා ද, රථ වාහකයෝ සංචාරකයන් 

රැවටීමට පෙලඹුණා ය. 

ඇල්බර්ට්‌ අයින්ස්‌ටයින් ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඉතිහාසීය වැදගත්කමක්‌ ඇති තවත් සිද්ධියක්‌ නම්, ලංකා ටයිම්ස්‌ පුවත්පතේ උගත් වාර්තාකරුවකු, කිටුනුමාරු නැව කොළඹට පැමිණි විගස ම, අයින්ස්‌ටයින් මුණගැසී සාකච්ඡාවක්‌ පැවැත්වීම ය. වාර්තාකරුවා, 1922 දින සූර්යග්‍රහණ පරීක්‌ෂණයන්හි ප්‍රතිඵල ගැන අයින්ස්‌ටයින් ගෙන් විමසුවේ ය. සූර්යග්‍රහණ කාලයේ ක්‍රිස්‌මස්‌ දූපත් දේශගුණය අයහපත් වූ නිසා එම පරීක්‌ෂණය අසාර්ථක වී ඇති නමුත් ඕස්‌ටේ්‍රලියාවේ තිබූ පරීක්‌ෂණය ගැන බලාපොරොත්තු තබාගත හැකි බැව් අයින්ස්‌ටයින් පවසා ඇත. ලංකා ටයිම්ස්‌ වාර්තාකරුවා අයින්ස්‌ටයින් ගෙන් එකල යුරෝපයේ තත්ත්වය විමසූ විට, ඔහු කීවේ පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය අසීරු තත්ත්වයක පවතින නිසා, එක්‌සත් රාජධානියේ සමාදාන සැලැස්‌ම අගය කරන බව ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොවට ම වැදගත් වන බව ද ඔහු පැවසුවේ ය.

එදින උණුසුම් පුවතක්‌ වූ බ්‍රිතාන්‍ය අගමැති ජෝර්ඡ් ලොයිඩ් මහතා ගේ ඉල්ලා අස්‌ වීම ගැන ද ලංකා ටයිම්ස්‌ වාර්තාකරු කථා කළේ ය. අයින්ස්‌ටයින් එම සිදු වීම එක්‌සත් රාජධානියට හා ජර්මනියට විශාල පාඩුවක්‌ යෑයි පවසා ඇත. අයින්ස්‌ටයින් ගේ දිනපොතේ ලංකාව පිළිබද අන්තිම සටහන මෙසේ ය. 

"ලංකාව වෘක්‌ෂලතාවන් ගේ පරාදීසයක්‌ වුවත් මනුෂ්‍ය පැවැත්මේ ශෝකජනක ස්‌ථානයකි." 

එවකට පිටකොටුවේ පරිසරය දැක නැව මුහුදට පිවිසි විට ශ්‍රී ලංකා දAවීපය දිස්‌ වූ විලාශය සිතමින්, අයින්ස්‌ටයින් එසේ ලීවා යෑයි සිතමි.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් හා එලීසා වර්ෂ 1922 දී ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධ නොපැහැදිලි කරුණක්‌ වන්නේ ඔවුන් සාමාන්‍ය සංචාරකයන් ලෙස දිවයිනට ගොඩබැස කිසිවකු ගේ සහායක්‌ නොමැති ව රික්‌ෂෝ රථයකින් ගමන් කිරීම ය. කොළඹ යටත් විජිත බ්‍රි්‍රතාන්‍ය ආණ්‌ඩුව, අයින්ස්‌ටයින් ගේ පැමිණීම නො දැන සිටියා යෑයි සිතිය නොහැකි ය. සාධාරණ සාපේෂකතාවාදය ඇගයීමේ පරීක්‌ෂණවලට බ්‍රි්‍රතාන්‍යයත් පොදුරාජ්‍යය මණ්‌ඩල රටවලුත් බොහෝ සේ සහාය දැක්‌වී ය. මෙය පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය සමග සමාදාන වීමට බ්‍රිතාන්‍යයේ කැමැත්ත පෙන්වන සංකේතයක්‌ ය යන්න සමහරුන් ගේ මතයකි. ලෝක යුදෙව් සංවිධානය ද අයින්ස්‌ටයින් ගේ නැෙගනහිර සංචාරයේ දී ගොඩබස්‌නා ස්‌ථානවල සංග්‍රහ පිළියෙල කළේ ය. සිංගප්පූරුවේ ලෝක යුදෙව් සංවිධාන ශාඛාවෙන් වයිස්‌මාන් මහතා වෙත යෑවූ පණිවිඩයක "කොළඹ අයින්ස්‌ටයින් සංග්‍රහය පිළිවෙළ කළා" යනුවෙන් සදහන් වේ. එහෙත් මේ සංග්‍රහය කොතැන තිබුණා ද, කවුරුන් පැමිණියේ ද යන්න ගැන සඳහනක්‌a නැත. 

අයින්ස්‌ටයින් සිංගප්පූරුව, හොංකොං හා ශැංහායි නගරයන්ට පිවිසුණු අවස්‌ථාවන්හි දී නම් මහත් හරසරින් පිළිගෙන ඇත. ජපානයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ කාර්යාලය ඔහු පිළිගත්තේ කාලතුවක්‌කු වෙඩි හඩිනි. නැව කොළඹින් පිටත් වී දින කීපයකට පසු, කිටුනුමාරු කපිතාන්වරයා අයින්ස්‌ටයින්ට නොබෙල් තාග්‍යය ලැබුණ බව දැන්වූ විදුලි පුවත භාර දුන්නේ ය.

චාරිකාව අවසානයේ අයින්ස්‌ටයින් තමා ගිය රටවල මිනිසුන් විස්‌තර කළේ මෙසේ ය. 

"ලාංකිකයන් උදාර ලෙස ද, ජපන් ජාතිකයන් පිරිසිදු ආත්මයක්‌ ඇති ලෙස ද, පලස්‌තීන වැසියන් බුද්ධිමතුන් ලෙස ද පෙනුණේ ය.

 


අයින්ස්‌ටයින් ගේ ජීවිතය හා චින්තනය හැදෑරීමෙන් මූලික විද්‍යා අධ්‍යයනයට ලැබෙන ප්‍රබෝධය

මූලික විද්‍යා අධ්‍යයනය යනුවෙන් අදහස්‌ වන්නේ, සොබාදහම, පරීක්‌ෂණ ප්‍රමුඛ න්‍යායවාදයන් ඇසුරින් තේරුම්ගැනීමට දරන උත්සාහයයි. මේ සදහා කෙරෙන පරීක්‌ෂණවල අරමුණ ප්‍රායෝගික බලාපොරොත්තුවක්‌ ම නො වේ. විද්‍යාවේ දියුණුව පමණක්‌ නො ව, තාක්‌ෂණයේ මහා විපර්යාස ඇති ව තිබෙන්නේ ද මූලික විද්‍යා අධ්‍යයනයේ ප්‍රතිඵල ලෙස ය. ප්‍රායෝගික විද්‍යාවේ අරමුණ එදිනෙදා ප්‍රශ්න විසඳීම වන්නේ ය. රටකට හෝ ජාතියකට ප්‍රායෝගික විද්‍යාවෙන් පමණක්‌ තාක්‌ෂණික දියුණුව කරා ළගා විය නොහැකි ය. 

ආර්ථික හේතු නිසා සමහර මූලික විද්‍යාත්මක පරීක්‌ෂණ පැවැත්වීම අප රටට අපහසු කාර්යයකි. එහෙත් පහසුවෙන් ම කළ හැක්‌කේ මූලික අධ්‍යයන පමණ ය. න්‍යායවාදී මූලික විද්‍යා අධ්‍යයනයට වියදම් වන්නේ අල්ප ප්‍රමාණයකි. ශ්‍රී ලංකාව කළ යුත්තේ ප්‍රශ්නයන්ට ඉක්‌මන් පිළිතුරු සැපයීමට ඉවහල් වන ප්‍රායෝගික පරීක්‌ෂණ පමණක්‌ ය යනු සමහරුන් ප්‍රචලිත කරන්නා වූ මතයකි. මූලික අධ්‍යයනයට වෙන් වූ ආයතයන්හි කළ යුත්තේ එම අදාළ ක්‌ෂේත්‍රය මිස ප්‍රායෝගික යෑයි කියාගන්නා වෙනත් දැ නො වේ. ඒවායේ ප්‍රධානතම කේෂ්ත්‍ර විය යුත්තේ න්‍යායවාදී හා ගණිතමය විද්‍යාවන් වන අතර එහි පර්යේෂකයන් එම ක්‌ෂේත්‍රයන්හි නිපුණ විය යුතු ය. 

මූලික අධ්‍යයනය දිරිගන්වන්නේ කුතුහලයයි

තමාට සරාගී කුතුහලයක්‌ මිස වෙනත් විශේෂ කුසලතාවක්‌ නොමැති බව අයින්ස්‌ටයින් පවසා ඇත. මූලික අධ්‍යයනයට, පෙට්‌ටියෙන් පිටත චින්තනය හා රැඩිකල්වාදී අදහස්‌ වැදගත් ය. මෙවැනි නව අදහස්‌ ඇති පාඨකයන් මූලික අධ්‍යයන චින්තනයට යොමු කරවන, නලින් ද සිල්වා සහ අශෝක අමරතුංග මහතුන් ගේ ලිපි විදුසරෙහි පළ වීම සතුටකි. එනමුත් මූලික අධ්‍යයනයට කැප වූ ආයතනයන්හි පර්යේෂකයන් ඔවුන් ගේ කාර්යයක්‌ වන මේ කේෂ්ත්‍රයට අදාළ දේ පළ නො කිරීම කණගාටුවට කරුණකි. මූලික අධ්‍යයනය පිළිබද නිපුනත්වයක්‌ ඇති විද්‍යාඥයන් අප රට තුළ ආයතනයන්හි හිග වීම හා මූලික අධ්‍යයනය සමග ප්‍රායෝගික විද්‍යාව පටලවාගැනීමෙන් වන හානිය ගැන ද සොයා බලා කටයුතු කිරීමට කාලය එළඹ තිබේ. සාධාරණ සාපේක්‍ෂතාවාදයේ 2015 ශත සංවත්සර වර්ෂය මේ සදහා ඉතා ම යෝග්‍ය වේ.

මහාචාර්ය කීර්ති තෙන්නකෝන්

උපුටා ගැනීම​: http://www.vidusara.com/2015/05/27/feature3.html

No comments:

Post a Comment