ඇඩොල්ෆ් හිට්ලර්
ඇතමෙකුට හිට්ලර් වැදගැම්මකට නැති විනාශකාරී මෘගයකු වූයේය. තවකෙක්ට ඔහු කුසලතාවයෙන් හෙබි මුත් අවස්ථාවක් නොලදින් එම කුසලතා මොටවූ ආධුනික චිත්‍ර ශිල්පියෙක් විය. ඇතමෙකුට ඔහු වීරයෙක් විය. නමුත් සැබෑ කතාන්තරය එක් අන්තයකට බර නොවූ එකක් වීමට ඉඩ ඇත. ඇතැම් විටෙක ඔහුට නියමාකාරයෙන් අවස්ථාව ලැබුණි නම් හිට්ලර් සහමුලින්ම වෙනස් පුද්ගලයකු වන්නට ඉඩ තිබිණ. නමුත් එය කිසිවකුට නිශ්චිතව කිව නොහැක.
සිය තරුණ අවධියේ වසර කිහිපයක් හිට්ලර් ගතකළේ ජර්මනියේ මියුනික් නගරයේය. එහිදී ඔහු බොහෝ ලෙස කියවීමට ඇබ්බැහි වූයේය. නමුත් ඔහු කියවූයේ ඔහුට රිසි වූ අදහස්වලින් යුත් පොතපත පමණි. එහෙයින් ඔහු ලෝකය පිළිබඳ සමතුලිත වූ චින්තනයක් දියුණු කරගත්තේ නැත. පසු කලෙක ඔහු ප්‍රචාරය කළාවූ සහ ක්‍රියාවට නැංවූ බොහෝ අදහස් හිට්ලර් තුල පැලපදියම් වන්නට ඇත්තේ මේ කාළයේය. කෙසේ වුවද මෙකල ඔහු ගෙවූයේ ඉලක්කයක් නැති ජීවිතයකි. මිල මුදල් අතින් අපහසුතා තිබුණද ඒ පිළිබඳ වැඩි යමක් කිරීමට ඔහු අකැමති වූයේය.
මේ හේතුව නිසාම පළමු ලෝක යුද්ධය හිට්ලර්ට වෙනත් විකල්පයක් විවර කළේය. එනම් සොල්දාදුවකු වීමයි. යුද්ධය ඔහුව විරැකියාවෙන් මුදවාලූයේය. යුද්ධය අවසන් වීමට කළකට පෙර ඔහු ප්‍රතිවාදීන් විසින් එල්ල කළ විෂ වායු ප්‍රහාරයකට ගොදුරු වූයේය. ජර්මන් ජාතිකවාදීන් විසින් ”පිටිපසින් පැමිණ පිහියෙන් ඇනීම” ලෙස හඳුන්වා දෙන 1918 ජර්මන් විප්ලවය සිදුවන විට ඔහු සිටියේ රෝහලේය. ඔහු එම විප්ලවයට දැඩිව වෛර කළේය.
හිට්ලර් දේශපාලනයට එක් වූයේ 1919 දී ජර්මන් කම්කරු පක්ෂය (Deutsche Arbeiter Partei) සමඟ එක් වීමෙනි. එය ඉතා කුඩා පක් ෂයක් වූ අතර මේ නිසාම ඔහුට එහි නායකත්වයට ළඟා වීම අපහසු නොවීය. ඔහුගේ දේශපාලන දිවියේ බොහෝ විට ඔහුට උපකාරී වූ ගුණාංග කිහිපයක් විය. හිට්ලර් දැඩි මතධාරියකු විය. යම් අදහසක එල්බ ගත්විට පහසුවෙන් එය වෙනස් නොකළේය. මෙය ඔහුට බොහෝ විට උපකාරී වූයේය. ඒ අතරම ඔහු සිය ප්‍රතිවාදීන් පිළිබඳව මනාව වටහා ගත්තේය. ඔවුනගේ දුර්වලතා හඳුනාගෙන එයින් ප්‍රයෝජන ගැනීමට ඔහු පසුබට නොවීය.
හිට්ලර්ට බලයට පැමිණීම සඳහා 1929 ආර්ථික අවපාතය කෙළින්ම උපකාරී වූයේය. ජර්මන් ආර්ථිකය කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වූ පසුබිමක, හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය නොහොත් නාසි පක්ෂය ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වූයේය. හිට්ලර් සිය ආවේගශීලී කථිකත්වය සහ දැවැන්ත ප්‍රචාරණය ඔස්සේ විශාල ජනකායක් සිය වසඟයට ගත්තේය. ජර්මන් ජාතිය යළිදු ශ්‍රේෂ්ඨත්වයට ඔසවා තැබීමට ඔහු ප්‍රතිඥා දුන්නේය.
බලයට පත් වූ පසු හිට්ලර් තමා සතුව තිබූ තුරුම්පු මනාව පාවිච්චි කළේය. සාමය සඳහා ඇතැම් යුරෝපා නායකයන් තුළ වූ කැමැත්තෙන් උපරිම පළ නෙලාගත් ඔහු එ එ වෙනුවෙන් විශාල මිලක් ලබාගත්තේය. මේ කෙරෙහි බ්‍රිතාන්‍යය, ප්‍රංශය මෙන්ම වෙනත් ඇතැම් රටවල නායකයින් ද අඩු වැඩි වශයෙන් වගකිව යුත්තාහ.
දෙවන ලෝක යුද්ධය ආරම් භ වූ පසු ඔහු බටහිර පෙරමුණේ සටනේ මූලික ජයග්‍රහණයට බෙහෙවින් හේතු විය. ඔහුගේ ජෙනරාල්වරුන් අපහසු යයි පැවැසූ ඇතැම් දේ ඔහුගේ හමුදා ඉටු කොට පෙන්වූය. ප්‍රබල ප්‍රංශය දණගස්වන්නට ජර්මනියට ගතවූයේ මාසයකට මඳක් වැඩි කාළයක් පමණි. හිට්ලර්ගේ නිර්මාණශීලී, ගතානුගතික නොවූ හමුදා උපක්‍රම ප්‍රහාරක මෙහෙයුම්වලදී මහත් ප්‍රයෝජනවත් වූයේය. මෙයින් සිදු වූයේ හිට්ලර්ට තම ජෙනරාල්වරුන් ගැන අවතක්සේරුවක් සහ තමන් පිළිබඳ අධිතක්සේරුවක් ඇතිවීමයි. මෙය පසු කාලීනව යුද්ධයේ පරාජයට බෙහෙවින්ම ඉවහල් වූයේය.
.
1940 ජූනි මාසයේ සිය හමුදා පැරිසිය යටත් කරගෙන දින කිහිපයකින් හිට්ලර් එහි සංචාරය කළේය. 1944 දී, පැරීසිය අහිමි වීමට ආසන්න වූ විට ඔහු නගරයේ වැදගත් ස්ථාන විනාශ කිරීමට අණ දුන්නේය. ඒ ස්ථාන අතර අයිෆල් කුලුණ ද වූයේය.
යුද්ධයේ අවසාන මාසවලදී, පරාජය හමුවේ හිට්ලර් වියරු වැටුණේය. කිසිත් නොරුස්සන, ප්‍රකෝපකාරී ගතිගුණ නිරන්තරයෙන් මතුවන්නට විය. වෙසෙසින්ම 1944 ජූලි 20 වනදා ඔහු ඝාතනයට කළ උත්සාහයෙන් පසු තත්ත්වය බෙහෙවින් දරුණු වූයේය. තාර්කික අදහස් පිළිගන්නට ඔහු කිසිසේත් සූදානම් නොවීය. අවසාන කාළයේ ඔහු තුළ වූයේ විනාශකාරී මානසිකත්වයකි. එහෙත් යුද්ධය අවසානයේ රුසියානු හමුදා සිය බංකරය අසළටම පැමිණෙන විට අන් සරණක් නැති බව දුටු හෙතෙම සියදිවි නසාගත් බව සැලකේ
No comments:
Post a Comment