ඌවතැන්නේ සුමන හිමි
මානව වංශ කථාවේ මේ තාක් විසූ අග්‍රගණ්‍ය බුද්ධිමතුන්, ප්‍රාඥයින් අතර කැපී පෙනෙන අයකු ලෙසින් සැලකෙන පයිතගරස් ගේ අතීත හා වර්තමාන සමයන් හි බලපෑම සුළු පටු නොවේ. නූතන ලෝකයේ පවා ඔහු පිදුම් ලබනුයේ ප්‍රතිපාදක නිගාමී තර්කය යන අදහසින් "ගණිතය" ඇරඹෙනුයේ පයිතගරස් හෙවත් පෛතගෝරස් ගෙන් හෙයිනි. ඊට අමතරව විශේෂ ධ්‍යාන යෝගයක් ඔහු තුළ ආත්මීයව බැඳී තිබූ බවට බටහිර දර්ශන ඉතිහාසයෙහි දක්‌නට තිබීමත් තවත් සුවිශේෂ කාරණයකි. ඒ වාගේ ම දර්ශනය විෂයයෙහි ගණිතයේ බලපෑම, තරමක් දුරට පයිතගරස් නිසා, ඔහුගේ සමයේ සිට ගැඹුරින් විද්‍යාමාන වීමත් කැපී පෙනන කාරණයකි. ඒ වාගේ ම ස්‌ත්‍රී පුරුෂ සමානත්වය හා පොදු දේපොළ ක්‍රමයක් පිළිබඳවත් හෙතෙම පෙනී සිටියේ ය. පයිතගරස් ගේ ජීවිතය පිළිබඳව අප දන්නා තොරතුරු සවල්පයෙන් අරඹමු. අයෝනියාවේ සේමෝස් නමැති පුරාණ දිවයිනෙහි උපත ලද ඔහු ජන්මය ලැබුයේ ක්‍රි : පූර්ව 532 වර්ෂයෙ හි ලෙසින් සැලකේ. මානව ඉතිහාසයේ සුවිශේෂතම සියවසක් ලෙසින් සැලකෙන. ක්‍රි :පූර්ව 06 වැනි සියවසේ දීම මේ සුවිශේෂ මානව චරිතයත් උපත ලැබීම එම සියවස වඩාත් ආලෝකවත් කිරීමට දායක විණි. හෙතෙම එම යුගයේ සේමෝස් දිවයිනේ විසූ වැදගත් පුරවැසියකු වශයෙන් සැලකෙන මිනෙසාර්කෝස් ගේ පුත්‍රයා බවටත් විශ්වාස කෙරේ. ඇතැමුන් ගේ මතයට අනුව පයිතගරස් ග්‍රීක ඉතිහාසයේ සඳහන් ඇපලෝ දෙවියන්ගේ පුත්‍රයෙකි. කොහොම නමුත් ඔහුගේ කාලයේ දී සේමෝස් දූපත පාලනය කළ බවට ඉතිහාසයේ දැක්‌වෙනුයේ විශාල නාවික බල ඇණියක් ද, මහා ධනස්‌කන්ධයක් ද උරුම කර ගත් මැරයකු ලෙසට ඉතිහාසයට එක්‌ව සිටි පොලික්‍රටිස් නමැති දූෂිත පාලකයා ය.
සුළු ආසියාවේ මිලේටස් පෞර රාජ්‍යය හා මෙම සේමෝස් රාජ්‍යය අතර වෙළෙඳ තරගයක් ද පැවැති අයුරු ඉතිහාසයේ දැක් වේ. සේමෝස් වාණිජ ජනයා වත්මන් ස්‌පාඤ්ඤය පවත්නා ප්‍රදේශයෙන් පතල් පිළිබඳ ප්‍රකටව පැවැති ටාර්ටියස් නුවර තරම් දුර යමින් සිය වෙළෙඳ ව්‍යාපාරයන්හි යෙදුණු ආකාරය කැපී පෙනුණු සිද්ධියකි. ක්‍රි : පූර්ව 535 දී සේමෝස් හි බලය අත්පත් කරගෙන රජ වූ පොලික්‍රටිස් ක්‍රී: පූර්ව 515 දක්‌වා රජකම් කළේය. සදාචාරය හා හොඳ නරක පිළිබඳව නොතැකූ පොලික්‍රට්‌ස් සිය අත්තනෝමතික පාලනයට හවුල් ව සිටි තම සොහොයුරන් දෙදෙනා මරා දමමින් සිය කෲරත්වය ලොව හමුවේ ප්‍රකට කළේය. සිය නාවුක හමුදාව යොදා ගනිමින් මුහුදු මංකොල්ල කෑම මහා පරිමාණයෙන් සිදු කරමින් එම ධනස්‌කන්ධය ගොඩ නැගුවේය.
මේ අතර මිලේටස් රාජධානිය පර්ෂියාවේ මහා සයිරස් අධිරාජයාට යටවීම පොලික්‍රට්‌ස් ගේ වාසියට හේතු වූ බවත් ග්‍රීක ඉතිහාසඥයෝ සඳහන් කරති. පර්ෂියානුන් තවදුරටත් බටහිර දිග ආක්‍රමණයෙහි යෙදීම වළක්‌වාලීම අරමුණු කොට පොලික්‍රටිස් ඒ වන විට මිසරයේ පාලකයාව සිටි අමේසිස් රජු හා මිත්‍ර සබඳතා ගොඩනගා ගත්තේය. එහෙත් පර්ෂියාවේ කැම්බීසස් අධිරාජයා මිසරය අක්‍රමණය කරද්දී පොලික්‍රටිස් පිල් මාරු කළ ආකාරයත් ප්‍රකට ය. සිය පසමිතුරා දිනා ගැනීම උදෙසා තම නැව් හමුදාවත් මිසරයට එරෙහිව යෙදවීමට තරම් නරුම විය. නමුත් එම නාවික හමුදාව එයට එරෙහි ව කැරලි ගැසූ අතර, ඔවුන් මැඩලීමට පොලික්‍රටීස් කටයුතු කළ ද සතුරා ගේ උගුලට හසුව ක්‍රි : පූර්ව 515 දී පොලික්‍රටින් විනාශ වූයේ ආක්‍රමණික විජය කුමරා ලක්‌දිව රාජධානිය අත්පත් කරගෙන සිටිය දීය.
එකී සතුරු උගුල වශයෙන් ඉතිහාසයේ දැක් වෙනුයේ සාර්ඩ්ස්‌හි පර්ෂියානු ක්‍ෂත්‍රපයා හෙවත් ප්‍රාදේශීය පාලකයා ග්‍රීක මහ රජුට එරෙහිව කැරලි ගැසීමට තමා අදහස් කරන බවටත්, ඒ සඳහා පොලික්‍රටිස් ගේ සහාය ලබා දුනහොත් මහා ධනස්‌කන්ධයක් ලබා දෙන බවටත්, ඒ පිළිබඳ වැඩිදුර කථා කිරීමට සාර්ඩීනියාවට පැමිණෙන ලෙසටත් කළ ඇරයුම මත එහි ගිය පොලික්‍රටිස් අත් අඩංගුවට ගෙන කුරුසියක තබා ඇණ ගසා මරා දමනු ලැබීය. එමගින් යුරෝපයේ ගොඩනැගී නැති අවධිය තුළත් කුරුසයේ තබා ඇණ ගැසීමේ දඬුවම ක්‍රියාවට නැගී ඇති ආකාරයත් අනාවරණය වේ.
කොහොම නමුත්, කලාකාමියෙකු ද වූ බව කියන පොලික්‍රටිස් නමැති ආඥාදායක පාලකයා සිත්කළු පොදු නිර්මාණයන් මගින් සේමෝස් රාජධානිය අලංකාර කළ අයුරුත්, රජවාසළ කවියා වශයෙන් ඇනැ ක්‍රියෝන් නමැති කවියාගේ සේවය ලබාගත් ආකාරයත් හෙලනික ඉතිහාසයේ දැක් වේ. එහෙත් මේ ආඥාදායක පාලනයට එරෙහි වූ පයිතගරස් සේමෝස් අතහැර මිසරයට ගිය බවත් ප්‍රකට ය. පයිතගරස් හෙවත් පෛතගෝරස් ගේ දැනුම වර්ධනය වීමට මිසර ජීවිතය බෙහෙවින් දායක වූ ආකාරයත් ඉතිහාසයේ දැක් වේ. එහෙත් ඔහුගේ මිසර ජීවිතය කෙටි කලකට සීමා කරමින් දකුණු දිග ඉතාලියේ ක්‍රෝටෝන් හි ස්‌ථිර පදිංචියට තෝරාගත් බවත් ප්‍රකට ය.
මේ අතර සිබේරිස් හා ක්‍රෝටොන් ශේ්‍රෂ්ඨ පුරද්වයන් විය. සිබේරිස් සෞභාග්‍යවත් රාජ්‍යයක් වූ බවත්, එම යුගයේ එහි ජනගහනය තුන් ලක්‍ෂයක් (300,000) ක් බවත් ප්‍රකාශයට පත් ව ඇතත්, එය අතිශයෝක්‌තියක් යෑයි පසුකාලීන ඉතිහාසඥයන් සඳහන් කරති. මෙම නගර දෙක ම අයෝනියාවෙන් ඉතාලියට ද්‍රව්‍ය ආනයනය කිරීමෙන් ධනය උපයා ගත්හ. මෙම ආනයනය කළ ද්‍රව්‍ය එම නගර අවශ්‍යතාවන් ඉක්‌මවාලමින් බටහිර වෙරළින් ගෝල් (වත්මන් ප්‍රංශය) දේශයට හා ස්‌පාඤ්ඤයට අපනයන කිරීමත්, සිදු කළ ආකාරයත් ඉතිහාසයේ දැක් වේ. ග්‍රීක පෞර රාජ්‍යයන් එකිනෙක හා බිහිසුණු ආකාරයේ යුද්ධයන් හි නිරත වූයේ ද මෙම පසුබිම තුළය.
අප කථානායක පයිතගරස් ක්‍රෝටොන් වෙත ළඟා වනුයේ ලොක්‍රි විසින් පරාජයට පත් කරනු ලැබීමත් සමගිනි. ඒ ආකාරයට හෙතම ක්‍රෝටොන් පුරයට පැමිණීමෙන් පසුව ක්‍රි : පූර්ව 510 දී පමණ සිබේරියස් හි ලොක්‍රි රජුට එරෙහි යුද්ධය ඇරඹිණි. සිබේරියස් පෞර රාජ්‍යය සහමුලින් ම විනාශ කරමින් එම යුද්ධය නිමා කිරීමට ක්‍රෝටොන් හි වැසියන් සමත් විය.
ක්‍රෝටොන් පුරය වෛද්‍ය විද්‍යාව පිළිබඳව කීර්තියක් අත්පත් කර ගනුයේ ද මෙම පසුබිම තුළ ය. ක්‍රෝටොන් හි ඩිමෝසිඩීස් නමැත්තෙක් පොලික්‍රටිස්‌ගේත්, ඉන්පසු ඩේරියස් ගේත් වෛද්‍යවරයා බවට පත් විය.
මේ අතර පයිතගරස් ක්‍රෝටොන් හි ශ්‍රාවක සමාජයක් පිහිටුවීය. එම සංවිධානය කාලයක් පුරා එම පුරයෙහි බලවත් ව පැවැතිණි. එහෙත් අවසානයේ දී ක්‍රෝටොන් වැසියන් ඔහුට එරෙහි ව නැගී සිටියෙන් හෙතෙම මෙටපොන්ටියන් කරා (දකුණු දිග ඉතාලියේ ම) ගිය ආකාරයත් හෙළනික ඉතිහාසයේ දැක් වේ. වැඩි කාලයක් යැමට පෙර පයිතගරස් ප්‍රාතිහාර්ය පෑමෙහි ශූර, අභිචාර බලයකින් යුත් ජනප්‍රවාදගත පුද්ගලයකු බවටත් පත් වූයේ මෙටපොන්ටියන්හිදී ය. නමුත් ඒ හා සමගම හෙතෙම ගණිතය පිළිබඳ විද්‍යාඥ ගුරු කුළයක පුරෝගාමියා, නිර්මාතෘවරයා බවටත් පත්වීම සුවිශේෂ කාරණයකි.
පසුකාලීනව ඇරිස්‌ටෝටල් දක්‌වා ඇති ආකාරයට පයිතගරස් ප්‍රථමයෙන් ගණිතය හා අංක ගණිතය ප්‍රගුණ කිරීමෙන් පසුව වරක් ඔහු පෙරකයිඩීස් ගේ ආශ්චර්යයන් පෑමේ ක්‍රමයට අනුකූලතාව දැක්‌වීමත් සිදු කර තිබේ.
මේ ආකාරයට පයිතගරස් හෙවත් පෛතගෝරස් යනු මානව ඉතිහාසයේ අතිශයින් සිත් ගන්නා සුළු වූත්, ප්‍රහේලිකාත්මක වූත් අපූරු චරිතයකි. ඔහු හා සම්බන්ධ පරම්පරාගත කථා තෝරා බේරා ගත නොහැකි තරමට සත්‍යයත්, මිත්‍යාවත් සම්මිශ්‍රණය ව පැවැතීමත් සුවිශේෂ කාරණයකි.
History of Western Philosophy කෘතියේ කතුවර විසි වෙනි සියවසේ මහා දාර්ශනිකයාණන් වූ ශ්‍රීමත් බර්ට්‍රන් රසල් සාමිවරයාට අනුව පයිතගරස් යනු ලෝ සුපතළ විද්‍යාඥ අයින්ස්‌ටයින් ගේ හා එඩී මැතිණිය ගේත් සම්මිශ්‍රණයකි.
බර්නට් ගේ old greek philosophy කෘතියට අනුව හෙතෙම ආත්මවල සංසරණය හා මාෂ බුදීමේ පාපසහගත බව මූලික ප්‍රතිපත්ති වශයෙන් පාදක කරගත් ආගමක් බිහි කර තිබේ. ඔහුගේ ධර්මය ආගමික පටිපාටියක අන්තර්ගත විය. තැනින් තැන රාජධානියේ පාලන කටයුතු ද අත්පත් කරගත් එම දහම සාන්තුවරයන් ගේ පාලන තන්ත්‍රයක් පිහිටුවීමටත් සමත් වූ අයුරු හෙළනික ඉතිහාසයේ සඳහන් වේ.
පයිතගරස්‌ගේ ආගමික ශික්‌ෂාපද මෙසේ දැක් වේ.
* මාෂ ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම
* අන්සතු දේ නොගැනීම
* සුදු පැහැති කුකුළකු ස්‌පර්ශ නොකිරීම
* පූප නොකැඩීම
* හරස් ලීයක් මතින් නොපැනීම
* යකඩකින් ගින්දර ගැනීමෙන් වැළකීම
* මල් මාලා උදෙසා මල් නොකැඩීම
* නැළිය මැනීමේ භාජන මත වාඩි වීමෙන් වැළකීම
* රස්‌තියාදු වීමෙන් වැළකීම
* වැහි ලිහිණියන්ට සිය නිවසේ වහලයේ ලැගීමට ඉඩ නොදීම
* ආලෝකය සමීපයේ කැඩපතකින් බැලීමෙන් වැළකීම
* අළුයම අවදිවීමෙන් පසුව ඇඳ ඇතිරිලි මත ශරීර සලකුණු මකා දැමීම
මෙහිදී කැපී පෙනෙන කාරණයක් වනුයේ මෙම ශික්‌ෂා පද සියල්ලම ආදි කල්පිත තහංචි සම්බන්ධ විකල්ප වීම ය.
කොන්ගෝර්ඩ් රචනය කළ from religion to philosophy නමැති කෘතියේ සඳහන් කර ඇති ආකාරයට "විද්‍යානුකූල ප්‍රවණතාවට ප්‍රතිවිරුද්ධව සැලකෙන ධ්‍යාන යෝගික සම්ප්‍රදායි මූලික ප්‍රවාහය පයිතගෝරියානු ගුරුකුලයේ නියොජනය" වේ. ඒ වාගේ ම තර්ක ශාස්‌ත්‍රයේ නිර්මාතෘ තමන් යෑයි පැවසූ පාර්මිනයිඩීස් මෙම පයිතගෝරියානු වාදයේ අංකුරය කැයි ද, ප්ලේටෝ පවා මූලික වශයෙන් ආභාෂය ලැබුයේ ඉතාලියානු දර්ශනයෙන් යෑයි ද කොන්ගෝර්ඩ් සලකයි. පයිතගෝරියානු වාදය හෝ දහම චර්ගි දහමේ ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයකැයි ද, චර්ගි දහම ඩයනීසස් දෙවිඳු පිදීමේ ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියක් යෑයි ද හෙතෙම සඳහන් කරයි.
මේ අතර ඉතිහාසය පුරා අඛණ්‌ඩව දක්‌නා ලැබෙන බුද්ධිමතා ගේ හා ධ්‍යාන ලාභී යෝගියා ගේ ප්‍රතියෝගය ඔලිම්පියානු දෙවියන් ද, මානව විද්‍යාඥයන් විස්‌තර කර ඇති ආදි කල්පික විශ්වාසයන් සමග වැඩි ඥාතිත්වයක් පවත්නා ශිෂ්ටත්වයෙන් අඩු දෙවිවරුන් ද අතර වූ ප්‍රතියෝගයක් වශයෙන් ග්‍රීක ජනයා අතර පළමුවෙන් දැක ගත හැකි විය. මේ ආකාරයට බෙදීමේ දී පයිතගරස් ධ්‍යාන යෝගයේ පාර්ශ්වයට එක් වුණි.
මේ අතර කොන්ෆෝර්ඩ් ගේ කෘතියේ දැක්‌වෙන ආකාරයට "ප්‍රථමයෙන් ආත්මය අමරණීය දේකැයි ද, තවද සත්ත්වයට පැමිණෙන ඕනෑම දෙයක් එක්‌තරා චක්‍රයක පරිබ්‍රමණය වෙමින් නැවත ඉපදීම සිදු වෙතැයි ද, කිසිවක් පරම නව්‍ය නොවෙතැයි ද, එසේ සජීව වශයෙන් චක්‍රයෙහි උපදින සියලු දේ ම එකිනෙක හා ඥාති සම්බන්ධයෙන් යුක්‌තය යි" ද යනුවෙන් පයිතගරස් ඉගැන්වීම සිදු කළ බව ඩිකයියාර්කොස් පවසා තිබේ.
පයිතගරස් ස්‌ථාපිත කළ සමාජයට කාන්තාවන් හා පුරුෂයෝ සමාන කොන්දේසි මත බඳවා ගනු ලැබූහ. දේපොළ පොදු ලෙසින් සලකා ඇත . පොදු ජීවන රටාවක් ද පැවැතිණි. විද්‍යාත්මකව හා ගණිතමය සොයාගැනීම සාමුහික ප්‍රයත්න සේ සැලකීම සුවිශේෂ කාරණයකි. සමානාත්මතාවය පිළිබඳව මෙයට සමගාමී යුගයේ මහා භාරතය තුළ ගෞතම බුදුන්වහන්සේ දේශනා කර, ඉන් වසර කිහිපයකට පසුව ක්‍රෝටොන් හි සමානාත්මතාව පිළිබඳ යම් මත දැක්‌වීමක් පයිතගරස් සිදු කිරීම කැපී පෙනන කාරණයකි. මෙම නීති උල්ලංඝනය කළ මෙටපොන්ටියන් හි හිප්පාසොස් ඔහුගේ එම ශ්‍රද්ධාවෙන් තොරවීම කරණකොට ගෙන දේව උදහසට ලක්‌ව සාගරයෙහි දී නාවික අනතුරකට ගොදුරු වූ බවත් කොන්ෆෝර්ඩ් සිය කෘතියෙහි සඳහන් කරයි.
එහෙත් මේවා හා ගණිතය අතර සම්බන්ධය පිළිබඳ ගැටලු මතුවීම යුක්‌තිසහගත ය. උපනිද්ධ්‍යානශීලී ජීවිතය වර්ණනා කළ ආචාර ධර්මයක් මගින් එය සම්බන්ධ විය. එම ආචාර ධර්ම බර්නට් පෙළ ගස්‌වා ඇත්තේ පහත දැක්‌වෙන ආකාරයෙන් යෑයි ද කොන්ෆෝර්ඩ් සිය from religion to philosophy" කෘතියේ සඳහන් කරයි.
අපි සියලු දෙනාම මේ ලොව අමුත්තෝ වම්හ. ශරීරය යනු ආත්මයේ සොහොන් ගෙයයි. එහෙත් ආත්මඝාතනය මගින් විමුක්‌තිය අත්පත් කර ගැනීමට අප උත්සාහ නොකළ යුතුය. ඒ මක්‌නිසාද යත්, අප අපගේ ගොපල්ලාණන් වූ ඊශ්වරයා හෙවත් දෙවියන් වහන්සේට අයත් දේපොළ බැවිනි. එතුමාගේ අණ නොමැතිව අපේ විමුක්‌තිය ලබා ගැනීමට අපට අයිතියක් නොමැති හෙයිනි. ඔලිම්පික් ක්‍රීඩා පිණිස තුන් ආකාරයක මිනිසුන් පැමිණෙන්නාක් මෙන් මේ ජීවිතයෙහි දී ද තෙවර්ගයක මනුෂ්‍යයින් සිටිති. පහත්ම පංතිය ද්‍රව්‍ය තරග කිරීම පිණිස එන්නා වූ අය ඉන් ඉහළ පංතියට අයත් ය. උසස්‌තම අය නම් නැරඹීම පිණිස එන අය ය. එබැවින් ශ්‍රේෂ්ඨතම පවිත්‍රීකරණය වනුයේ විද්‍යාවයි. ඒ සඳහා ජීවිතය කැප කළ තැනැත්තා හෙවත් සැබෑ දාර්ශනිකයා, ජීවිත චක්‍රයෙන් ඉතා සඵලාකාරයෙන් විමුක්‌තිය ලදුයේ" යෑයි ද සඳහන් වේ.
වචනයන්ගේ විපර්යාසයෝ බොහෝවිට උපදේශාත්මක ය. "Orogi" යන්න වියරු උත්සව යන අර්ථය සපයයි. මීළඟට thesiy යන වචනය විමසා බලමු. තියරි සිද්ධාන්තය යන අර්ථය නූතන අර්ථය යි. මුලින් එය ඕර්පික් වචනයක් විය. අනුරාගික, සානුකම්පික උපනිද්ධ්‍යානය වශයෙන් කොන්ෆෝර්ඩ් එය විවරණය කරයි. මෙම තත්ත්වයෙහි දී ප්‍රේක්‍ෂකයා දුක් විඳින දෙවියන් වහන්සේ හා තාද්‍රdත්මය කොට සැලකේ. ඔහුගේ මරණයේ දී යළි ඔහුගේ නව උපත සමග නැගී සිටිති. "අනුරාගික සානුකාම්පික" උපනිද්ධ්‍යානය" බුද්ධි විෂයක ද ගණිතමය දැනීම සමග සිද්ධ වන්නක් සේ ද පයිතගරස් සලකයි. මේ ලෙසින් පයිතගෝරියානු වාදය මගින් "theory" යන්න ක්‍රමයෙන් එහි නූතන අර්ථය ලැබීය.
පයිතගෝරියානු ආචාර ධර්මය පිළිබඳ බර්නට් ගේ විස්‌තරයෙහි නූතන සාරධර්මයන් පිළිබඳව ප්‍රතියෝගය ඇතුළත්ව තිබෙනු දැකීම සිත් ගන්නා දෙයකි. පාපන්දු තරගයක දී නූතන අදහස් සහිත අය හුදු නිරීක්‍ෂකයන්ට වඩා ක්‍රීඩකයන් විශිෂ්ට කොට සලකති.රජය සම්බන්ධයෙන් ද මෙසේම ය. දේශපාලන පොර පිටියෙහි තරගකරුවන් වන දේශපාලඥයන් නිකම් බලා සිටින ඡන්දදායකයන්ට වඩා උසස් කොට ඔව්හු සලකති. සාරධර්ම පිළිබඳ මෙම විපර්යාසය සමාජ පද්ධතිය පිළිබඳ විපර්යාසයක් හා සම්බන්ධය. රණශූරයා, ආචාරවන්තයා, කුවේරතන්ත්‍රඥයා හා ආඥාදායකයා යන එක් එක් තැනැත්තාට තමන්ට විශේෂිත වූ යහපත හා සත්‍යය පිළිබඳ මිණුම් දණ්‌ඩක් පවතී. ග්‍රීක බුද්ධි ප්‍රභාව හා ආශ්‍රිත බැවින් ද, උපනිද්ධ්‍යානයෙහි සද්ගුණයට දේවධාර්මික අනුමිතිය ලැබුණු හෙයින් ද, නිෂ්කාම සත්‍යය පිළිබඳ පරමාදර්ශය උගතුන්ගේ ජීවිතය ගෞරවයට පැමිණි වූ බැවින් ද, දාර්ශනික සිද්ධාන්තයෙහි දීර්ඝ ආධිපත්‍යයක් ආචාරවන්තයාට තිබුණි. ආචාරවන්තයා යනු සමයන් ගේ සාමාජයක වහලුන්ගේ සේවය ලබා ජීවත් වන්නකු නොහොත් කෙසේ හෝ පහත් යයි සම්මත මිනිසුන් ගේ සේවය ලබා ජීවත් වන්නකු හැටියට අර්ථ විග්‍රහ කොට දැක්‌විය හැකිය.
ශාන්තුවරයා ද, මුනිවරයා ද, ඉහත දැක් වූ අර්ථ විග්‍රහයට ඇතුළත් වන බව කිව යුතුය. ඔවුන්ගේ ජීවිත සක්‍රීය ජීවිතවලට වඩා උපනිද්ධ්‍යානශීලී ජීවිත වන බැවිනි. උපනිද්ධ්‍යානශීලී නොව ප්‍රායෝගික වූ ද, උපයෝගවාදයෙහි (Progmatirm) හා උපයෝගිතාවාදයෙහි (Iitrumentalism) එන සත්‍යය පිළිබඳ අර්ථ විග්‍රහ බඳු, සත්‍යයේ නූතන අර්ථ විග්‍රහ රදළවාදයෙන් නොව කාර්මකවාදයෙන් අභාසය ලබා තිබේ.
වහල් මෙහෙය පවත්නා සමාජ ක්‍රමයක් ගැන කුමක් සිතුව ද, ශුද්ධ ගණිතය ගැන අප ණය ගැති වන්නේ ඉහතින් දැක් වූ අර්ථය ඇති ආචාර වන්තයන්ට ය. ශූද්ධ ගණිතයෙහි නිර්මාණයට මග පෑදූයේ උපනිද්ධ්‍යාන පරමාදර්ශය බැවින් එය ප්‍රයෝජනදායී ක්‍රියාවලියක නිදානය විය. මේ නිසා එහි කිර්තිය වැඩි වී දේවධර්මයෙහි ද, ආචාරධර්මයෙහි ද, දර්ශනයෙහි ද, උසස් සම්භාවනීය ස්‌ථානයක් එයට අයත් විණි.
ආගමික වක්‌තෘවරයා හා ශුද්ධ ගණිත විද්‍යාඥයා වශයෙන් පයිතගරස් ගේ දෙපාර්ශවය ගැන විස්‌තර කිරීමට ඇත්තේ මේ පමණකි. මේ දෙපාර්ශ්වයෙන් ම ඔහු මිණිය නොහැකි තරම් බලසම්පන්න විය. නූතන මනසට පෙනී යන තරම් මේ දෙපාර්ශ්වය එකී නෙකින් පරිබාහිර නැත .
දර්ශනය හා විද්‍යාත්මක ක්‍රමය විෂයයෙහි ජ්‍යාමිතියේ බලපෑම ඉතාමත් ගැඹුරු විය. ග්‍රීකයන් විසින් ස්‌ථාපිත කරන ලද පරිදි ජ්‍යාමිතිය ස්‌වත( සිද්ධ වූ හෙවත් එසේ යෑයි සිතන ලද සර්ව සිද්ධීන් ගෙන් පටන් ගෙන, ස්‌වත( සිද්ධ නොවන ප්‍රමේයයන් කරා එළඹීම් වස් නිගාමී තර්කණය මගින් ඉදිරියට යයි. ප්‍රායෝගික පළපුරුද්දෙහි ඇතුළත් දෙයක් වූ සැබෑ අවකාශය සම්බන්ධයෙන් ස්‌වසිද්ධීන් හා ප්‍රමේය, සත්‍යය සේ සලකනු ලැබේ. ප්‍රථම කොට සවත(¨ සිද්ධ දෙය සලකා බලා ඉක්‌බිති නිගාමී තර්කය යෙදීමෙන් සැබෑ ලෝක පිළිබඳ දෑ සොයා ගත හැකි බව මෙසේ දැක ගත්තේය.
පයිතගරස් සමගින් ආරම්භ වුණු ගණිතයේ හා දේව ධර්මයේ සංයෝගය මධ්‍යතන යුගයේ දී ග්‍රීසියේ දී ද, නූතන සමයේකාන්ට් දක්‌වා ද ආගමික දර්ශනයේ විශේෂ ලක්‍ෂණයක් විය. පයිතගරස්‌ට පූර්ව ඕර්පි වාදය, ආසියානු ග්‍රහය ධර්ම ආගම් හා සදෘශ වී යයි මහා දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා අවධාරණය කරයි. එහෙත්, ප්ලේටෝ, ශූද්ධ ආගෝස්‌තීනු, තොමස් ඇක්‌වයිනාස්, ඩේකාට්, ස්‌පිනෝසා, කාන්ට් හා ලයිපනිට්‌ස් යන අයගේ කෘතිවල ආගමේ හා තර්කණයේ ද කාල මුක්‌ත දේ පිළිබඳ න්‍යායානුසාරී විශිෂ්ට භාවය සමග සදාචාර පැවතුම් වල ද සමීප සබඳතාවක් පෙනෙන්ට තිබිණි. පයිතගරස් ගෙන් ආරම්භ වුණු මෙය යුරෝපයේ බුද්ධි විෂයිකෘත දේව ධර්මය ආසියාවේ සෘජු ධ්‍යාන යෝගයෙන් වෙන් කොට දක්‌වන බවත් රසල් සාමිවරයා සිය "History of Western Philosophy" කෘතියේ සඳහන් කරයි.
පයිතගරස් සාවද්‍ය තෝතැන් හි දැයි පැහැදිලි ලෙස කිව හැකි වූයේ ඉතාමත් මෑතක දීය. චින්තන ක්‍ෂේත්‍රයෙහි ඔහු තරම් බලයක් පෑ අන් අයෙකු තමා නොදන්නේ යෑයි ද රසල් දර්ශනවාදියා සඳහන් කරයි. තමා මෙසේ පවසන්නේ ප්ලේටෝනික වාදය ලෙසින් පෙනෙන දර්ශනය විශ්ලේෂණය කළ කල්හි සාරාංශය විසින් එය පයිතගරස් ගේ දහම හෙවත් පයිතගෝරියානුවාදය ම පයිතගරස් ගේ දහම හෙවත් පයිතගෝරියානුවාදය ම බව පෙනී යන හෙයිනැයි ද අවධාරණය කරයි.
ඉන්ද්‍රියයනට නොව බුද්ධියට එළිදරව් වූ ශාස්‌වත ලෝකයක් පිළිබඳ සම්පූර්ණ විකල්පනයම ඔහුගෙන් ව්‍යත්පන්න වූවකි. පයිතගරස් නිසා නොවේ නම්, ක්‍රිස්‌තියානි හූ ක්‍රිස්‌තුස් වහන්සේ දේව අභිව්‍යක්‌තිය ලෙසින් නො සිතනු ඇත . පයිතගරස් නිසා නොවේ නම්, දේවධර්මවාදීන් දෙවියන් වහන්සේ හා අමරණීය භාවය පිළිබඳ ව න්‍යායානුසාරී සාධන ගැන නො සිතනු ඇත. එහෙත්, පයිතගරස් තුළ මේ සියල්ල ගම්‍යය. එය ප්‍රකට බවට පත් වූයේ කෙසේ ද යන්න දක්‌නට ලැබෙනු ඇතැයි ද මහා දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා සිය "History of Western Philosoohy" නමැති ඓතිහාසික ග්‍රන්ථය තුළින් පෙන්වා දෙයි.
උපුටා ගැනීම:http://www.divaina.com/2012/04/25/badada03.html
No comments:
Post a Comment